Gombaniya - highest mountain in Knuckles, Sri Lanka
Gombaniya – highest mountain in Knuckles

Exploring Highest Mountain Peak in Knuckles – Gombaniya

නකල්ස් තැන් කීපයක ගිහින් තිබුනත්, යන්නම ඔනේ තැනක් නිසා නකල්ස් වල උසම කදුමුදුනට ගිහින් නැති නිසාත්, කැලෑබොක්ක ගිය අවස්ථා කීපයේදී ම ගොම්බානිය ඒකට යමුයි කියල කතා වෙලා තිබුන නිසාත්, නකල්ස් උසම කදු මුදුන සොයා යාමට තීරණය කලෙමු. මේ සදහා ජනිත්, ප්‍රියන්ත , සචී සහ මම සහභාගී වූ අතර ප්‍රවාහන මාධ්‍ය උනේ ජනියාගේ අලුතෙන් ගත් මෝටර් කාරයයි.

වෙසක් දින පාන්දර 1ට පමණ සචීගේ ගෙදරට ගිය අපි පැය කීපයක් නිදාගෙන පාන්දර 5ට පමණ ගෙදරින් පිටත් වීමට බලාපොරොත්තු වුවත් ගෙදරින් පිටත් වීමට සිදුවූයේ පෙ.ව. 7ට පමණය. දින දෙකකට අවශ්‍ය කරන කෑමත්, ලට්ට පට්ට ටිකකුයි රැගෙන වත්තේගමට පැමිණ, පන්විල හරහා අල්ලකොල්ල ස්ටේට් එකට පැමිනියෙමු.

ස්ටේට් එකට සහ ලැයිම් වලට යාමට ඇති ප්‍රධාන ප්‍රවේශ මාර්ගයේ ඇති ගේට්ටුව අසලට පැමිණි අපට එහි සිටි මුරකරු ගේට්ටුව සම්බන්ධ තාප්පයේ ඇති දැන්වීමක් පෙන්වා පැවසුවේ යාමට අවසර නැති බවයි. අප සිව් දෙනාටම කර කියාගත දෙයක් නොමැති විය. අප නකල්ස් වනයට ඇතුලු වීමට අවසර රැගෙන ඇති බව පැවසුවද එයට ඔවුන් සැලකිල්ලක් නොදැක්වීය. ගමේ කීපදෙනෙක් ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ දෙමල ගම් වල ඇවිදින්න යන්න එපා ප්‍රශ්නයක් වේවි ‍යන්නයි.

සුන් වූ බලාපොරොත්තු ඇතිව කාරය හරවා ගත් අප නැවත සෙමෙන් පහලට ඇදෙන්නට විය. සගයන්ගේ නොයෙක් අදහස් ගලා ආවත් අපිට කාර් එක ගෙදරකින් කතා කරල දාගත්තොත් උඩට යාගන්න බැරි වෙන එකක් නැතිවෙයි අපි ට්‍රයි කරල බලමු යයි මගේ අදහස විය. මේ වන විටත් වෙලාව පෙ.ව. 10.30 පමණ වී ඇති නිසා වෙන දිහාවක යන්නත් වෙලාව නැති නිසා මගේ අදහසට සියලු දෙනා එකග වූයේ යම් චකිතයකිනි. ගූගල් මැප් එක බැලූ මට දැකගන්නට ලැබුනේ පහලින් තේ වතු අතරින් නිවාස සමූහයක් ඇති බවයි. ඒ සමගම එතනින් එළුවන් දක්කාගෙන ගිය සීයා කෙනෙක්ගෙන් විමසූ විට අපට කිව්වේ වාහනය ඕනෙ තැනක දමා යන්න ගැටලුවක් නොවන බවත්ය.

ඉන් අනතුරුව අප ගම පැත්තට සෙමෙන් ධාවනය කලෙමු. මුලින්ම හමුවූ ගෙදර සිටි මාමාට අප පැවසුවේ “අපට තලිය වැටුන ඇල්ල ලගට යන්න ඕනෙ වාහනය මෙහෙ දාල යන්න පුළුවන් ද ” යන්නයි ගෙදර සිටි මාමා කිසිම පැකිලීමකින් තොරව ඊට එකග විය. ඒ අතර ජනියා කාර් එක හරවන්න ගිහින් කොන්ක්‍රීට් පාරෙන් පිටට දමාගෙන යට වද්දාගෙන තිබිණි. මෙම සිදුවීම සචීලගෙ ගෙදරදිත් සිදුවුණු නිසා ජනිත්ට අලුත් දෙයක් නොවීය. මම කාරයෙන් බැස යන විට දුටූවේ නිවසේ ඉදිරි පස “මෙම නිවසට බුදුසරණයි” යනුවෙන් ලියා ඇති අයුරුයි. මම ඒ ගෙදර මාමාගෙන් විස්තර කථා කරන විට දැන ගන්නට හැකි වූයේ මෙම ගම අතීතයේ ගම් උදාව සංකල්පය යටතේ පදිංචි කරවූ සම්පූර්ණයෙන් සිංහල පවුල් පමණක් සිටින ගමක් ලෙසයි.

මාමාට මම අපේ අවශ්‍යතාවය සහ කලින් සිදුවූ සිදුවීම පැහැදිලි කල විට මාමා කිව්වේ වාහනය දමා යන්න ගැටලුවක් නෑ යන්නයි. අප ඉක්මනින් ලැහැස්ති වී ගමේ එක් කොනකින් ගලා යන හුලුගග දෙසට ගියෙමු. හුලු ගගේ පහලින් එහා ඉවුරට ගොස්, අනිත් පැත්තෙන් ගග අයිනේ ඉදිකර ඇති කුඩා විදුලිබලාගාරය ලගින් හුලු ගගට බැස ගග දිගේ ඉහලට ඇදුනෙමු. මේ වන විටත් දහවල් 12 පසුවී තිබිණි. ගග මැද ගල් තලාවකට වී අප ගෙනා සුලු ආහාරයක් ලබාගෙන නැවත ගග දිගේ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුනෙමු. ඇද වැටීම් කිහිපයක් සමගින් හුලු ගග දිගේ උඩට ගොස් ලැයිම් පසු කර කැලයට වැදුනෙමු.

කපා පුලුස්සා ඇති තේ වතු කීපයක් පසුකර යාමට අපට සිදුවූයේ හිසටත් ඉහලින් වැඩී ඇති මාන පදුරු සහ කටු පදුරු දෑතින් පයින් තලමින් හා රිංගමිනි, ඊට හේතුව වූයේ සචීට ගෙදරින් වක් පිහිය ගෙන ඒමට අමතක වීම නිසාය. ඉන් අනතුරුව විශාල කලුගල් ඇති තැන් කීපයක් පසු කරමින් නකල්ස් කැලයට ඇතුලු වන විට ප.ව. 3 පමණ පසුවී තිබිණි. සියලුදෙනාම වෙහෙසට පත්වී ඇති නිසා හා දිවා ආහාරය ලබා ගන්නා වේලාව ද පසු වී ඇති නිසා සචීගේ අම්මා සකසා දුන් දිවා ආහාරය අප මේ අවස්තාවේ ලබා ගතිමු. මද වේලාවක් විවේක ගත් අප නැවත ඉක්මනින් ගමනේ යෙදුනෙමු.

කැලය මැදදී අපට වතුර හමුවීමත් සමගම අප සතු සියලු බෝතල් වලට ජලය පුරවාගෙන ඇති තරම් ජලය බී මුහුන කට සෝදාගෙන නැවත ගමනට අවතීර්ණ වුනෙමු. නැවත නෙලු කැලයක් පීරමින් තලමින් රිංගමින් යාමට සිදුවිය. ඉන් අනතුරුව ගල් පොතු කීපයක් දිගේ යමින් ඉදිරියට ඇදෙන අපව, පරිසරය විසින් මීදුමෙන් වසා ගත්තේ ඉතාම ආදරණීය ලෙසය. හෙලක් අසල ගල්තලාවක් මත මද විවේකයක් ගන්නා අතර සචීගේ කස්ටඩ් පුඩිමේ රස බැලීමද වෙහෙස වී සිටි අපට ඉතාම රසවත් දෙයක් විය.

අදුර වැටීමට ඉතාම ආසන්නය ගල් තලා පසු කරමින් කැලය මැදින් ඉදිරියට ඇදෙන අපට එකම උදව්ව වූයේ ගූගල් මැප් එක පමණි. ප.ව. 6.30 ට පමණ අප යකුනේ හෙල ඉදිරියෙන් වූ විශාල ගල් තලාව මතට පිවිසියෙමු. අදුර මීදුම සුලග අපව සැනෙකින් වෙලා ගනිද්දී සැනෙකින් අප ගල් තලාව මත කූඩාරම් අටවා ගත්තෙමු. කූඩාරම් ගසාගෙන යන තරම් සුලගක් තිබුනත් අප කූඩාරම් ගසා ඇති ස්තාන වෙනස් නොකලෙමු. වෙසක් දින නිසා හද එලියෙන් ගල් තලාව සහ කූඩාරම් ආලෝකමත් වී ඇති නමුත් විනාඩි කීපයකින් මිදුමෙන් මුලු පරිසරයම වැසී යයි. අප කූඩාරම් වලින් එලියට එන සෑම විටම එක් පුද්ගලයෙක් කූඩාරමේ රැදවීමට තීරණය කලෙමූ, ඒ කූඩාරම් සුලගේ ගසාගෙන යාවි යැයි ඇති සැකය නිසාවෙනි. වැඩි වේලාවක් එලියේ සිටිමට නොහැකි වීම නිසා ඉක්මනින් කූඩාරම් ඇතුලට රිංගා ගතිමු.

අපට රාත්‍රී ආහාරය සකසා ගැනීම සිහිනයක් වූයේ අධික මීදුම සහ සුලග හේතුවෙනි, මේ නිසා අපගේ රාත්‍රී ආහාරය වුයේ චොකලට් චීස් බිස්කට් වැනි කෙටි ආහාරයන්‍ ය, එම ආහාර ලබා ගන්නා අතර තුර බෑග් අදිමින් සිටි අපට දිවා ආහාරයේ දී අප ආහාරයට නොගත් අපට අමතක වී තිබූ බත් පාර්සල් දෙකක් හමුවන්නේ ඒ අතරවාරයේදීය, වහ වහා දිග ඇර බැලූවිට දැක ගත හැකි වූයේ එම ආහාර අනුභවය සදහා සුදුසු බවය. සචීගේ මෑණියන් විසින් සියල්ල තෙලෙන් බැද තිබීම ආහාර නරක් නොවීමට ප්‍රධානම හේතුව විය. රාත්‍රී ආහාරය එසේ ලබාගත් අප නින්දට ගියෙමු. ඇස් පියා ගත්තද කූඩාරම් සුලගේ ගසාගෙන යාමට දගලන ශබ්දය නිසාත් , අධික සීතල නිසාත් වෙනදා තරම් ඉක්මනින් නින්ද ගියේ නැත.

හදිස්සියම මා නින්දෙන් අවදි විය, වතුර බෝතලය අතට ගනිමින් ක්‍රියාවිරහිත කර තිබූ මාගේ ජංගම දුරකතන ක්‍රියාත්මක කලෙමි, වෙලාව රාත්‍රී 12ට ආසන්නය, කූඩාරමේ දොර අඩක් විවෘත කලා පමණි, සියොලගම සීතලෙන් වෙලී ගියේය, වතුර බෝතලය සහ ජංගම දුරකතනය අතැතිව කූඩාරමෙන් එලියට ආ මා මීටර කීපයක් ඉදිරියට ගොස් ගල් තලාවේ කෙලවර යකුනේ හෙල ඉදිරියෙන් ඉදගෙන වතුර බෝතලය රැගෙන කට සෝදා වතුර උගුරු දෙක තුනක් බොන ගමන් සද එලියෙන් නැහැවී ඇති යකුනේ හෙල දෙස බැලුවේ මහත් ඕනෑකමිනි, වචනයෙන් එම අවස්තාවන් ගොඩනැගීම මට කල නොහැකි දෙයකි, මම පැයක් පමණ එහි සිට ඇති බව මා දන්නේ ජංගම දුරකතනය අතට ගත් අවස්තාවේදී ය, විනාඩි කිහිපයකින් මීදුමෙන් වැසෙන නැවත පැහැදිලි වන වටපිටාවේ දර්ශන කිහිපයක් ජංගම දුරකතනයේ රදවා ගත් මම නැවත කූඩාරමට ඇතුලු වන විට වැස්සට තෙමී ඇති සේ මා පින්නෙන් නැහැවී තිබිණි. කූඩාරම තුලට වී ඇග පිසදාගත් මා නැවත නින්දට වැදුනෙමි.

නැවත අවස්තා කීපයකදී ඇහැරුණු මම, කූඩාරමේ දොර විවුර්ත කර එලියට බැසීමට අමතක නොකලෙමි. නැවත අවධි වන විට ඉර උදාව ආසන්න වී ඇත, චන්ද්‍රයා බටහිරෙන් බැස යාමට සූදානමිනි, එම දර්ශනය නැරඹීමට සියල්ලෝම අවධි වී තිබිණි. ඇතැමෙක් තමන් සීතලෙන් බේරීමට රෑ නිදාගැනීමේ දී පෙරවාගෙන සිටි බෙඩ්ශීට් තොප්පි ජසි සහිතවම එලියට බැස තිඹුණි. ආකර්ශනීය හිරු උදාවක් සමග අවධි වූ අප පැය කිහිපයක මහන්සියෙන් අවුලුවාගත් ලිපෙන් සාදා ගත් තේ පානය සහ සචීගේ රෙසිපියට සකසා ගත් උදේ ආහාරය ලෙස පැස්ටා සහ රොටී සාදාගෙන, උදේ ආහාරය ගෙන කදවුරු ස්තානය පිරිසිදු කර නකල්ස් උසම ස්තානය සොයා අප පෙ.ව. 10ට පමණ ගමන ඇරඹුවෙමු .

බට කැලේ පීරමින් ඉදිරියට ඇදුන අපට නකල්ස් උසම ස්තානයට ලගාවීමට හැකි විය. ඉන් අනතුරුව එයද පසු කරමින් ගොම්බානීය කෙලවරට ඇදුන අප නැවත අප කදවුරු කල ගල් තලාව මතට පැමිණ පහලට බැසිම ආරම්භ කලෙමු. පැය දෙකක් වැනි කාලයකදී අපට පහල ලැයිම ආසන්නයට බැසීමට හැකි විය. ජනියාට යමක් අමතක ඇති වී ඇත. මුලු බෑගයම තේවත්තේ සිට ඇද බැලු ජනියා පැවසුවේ තමන්ගේ ගෝප්‍රෝ කැමරාව නැති බවය. වැස්සක් ලග එන බව පෙනෙන්නට ඇත, තීරණය ජනිත් සතුය. මේ ආස්තාවේදී අප වෙතට එන දෙමල ලැයිමේ කොලු ගැටයන් කීපදෙනෙක්ගෙන් කලෙයි නම් දෙමල තරුණයා අපෙන් විස්තර අසද්දී ජනිත් ගේ කැමරාව ගැන අප ඔහුට පැවසීමත් සමග ඔහු සමග එකගතාවකට පැමිණි ජනිත් ඔහු සමග නැවත කැමරාව සොයා යාමට පිටත් වෙද්දී,අප තිදෙනා අනෙකුත් සියලු දේවල් සමග පහල ලැයිමට බැසීමට පටන් ගත්තෙමු. ඉන් අනතුරුව ත්‍රීරෝද රථයකින් අප වාහනය දමා ගිය මාමාගෙ ගෙදරට පැමිනියෙමු .

ජනිත් නැවත එනතුරු අප තිදෙනාව මාමා පහල ඇලට එක්කන් ගියේ නා ගැනීම සදහාය. හිතේ හැටියට නාගත් අප නැවත මාමාගෙ ගෙදරට එනවිට මාමා අපි පරක්කු ඇයිදැයි බැලීමට මගට ඇවිත් තිබුණි. ජනිත් තවම පැමිණ නැත. කෙසේ හෝ ජනිත් එනවිට රාත්‍රී 7.30 පමණ වී තිබිණි. මාමාලාගෙ ගමේ අය සංවිධානය කර තිබූ රොටී දන්සැලෙන් භාගයක් පමණ ඉවර කල අපි, මාමාගේ දුවගේ අතින් හැදූ රසවත් තේ කෝප්පයක් බී මාමාට සහ මාමාගේ පවුලේ අයට ස්තූති කර නිවෙස් බලා පිටත් වුනෙමු.

සටහන : දොන් අමිල : Weekend Travellers